මේ වනතුරු මෙරට ඉතිහාසය ලියන ලද්දේ පාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් බවත්, ජාතික ජන බලවේගය විසින් ඇති කරනු ලබන පුනරුද යුගය පිළිබඳව ඉතිහාසය ලිවීම පැවරෙන්නේ පුරවැසි අපට ම බව අවධාරණය කෙරේ.
එම පක්ෂයේ ප්‍රචාරක රැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය වැඩි දුරටත් පළ කළ අදහස් මෙසේ ය.
අපි එදා සිතුවා රට පාලනය කළ නායකයන් අපේ සිහිනත්, බලාපොරොත්තුත් විනාශ කළා කියලා. අද ඒක වෙනස් වෙලා. ඒ වෙනස කළේ ඔබ. නමුත් රටේ පාලකයන් වෙනස් වෙලා නැහැ. ඒ දූෂිත, ජඩ දේශපාලනය ඉවර කිරීම සඳහා මේ රටේ පුරවැසියන් හැටියට එක අරමුණකින්, සාමූහිකව එකතු වෙලා අපි සියලු දෙනා තුළම නැවත වතාවක් බලාපොරොත්තු ඇති කර තිබෙනවා; සිහින දකින්න අවස්ථාවක් උදාකර තියෙනවා. නැවුම් බලාපොරොත්තු සහිතව, මේ රට ගොඩගැනීම සඳහා අපට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
අපේ බලාපොරොත්තු මොනවාද? මේ දුෂ්ට පාලනය වෙනස් කරලා, මේ රටේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ජනාධිපති ලෙස පත්වෙලා පැය 24ක් යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බව ප්‍රකාශ කර තිබෙනවා. එවිට දූෂිත පාර්ලිමේන්තුව සුද්ද කරලා අපට අවශ්‍ය පරිදි, ජනතාවාදී, ජනතාව ගැන හිතන අලුත් මහජන නියෝජිතයන් පත්කර ගන්න, අවස්ථාවක් උදාවෙනවා. මේ කරුණු දෙක සම්පූර්ණ කර ගත්තාට පසුව රට හදන වැඩේ පටන් ගන්න අපට හැකිවෙනවා.
පළමු වැනි දිනයේ සිට අපේ ක්‍රියාකාරකම්වල, අපේ භාවිතයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගන්නවා. දේශපාලනඥයාගේ සීමාව තේරුම් ගන්න දත්ත විද්‍යාව මත ජනතාව පෙරදැරි කරගත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති හදන දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කරනවා. දේශපාලනය කියන්නේ වරප්‍රසාදවලට කෑදරකමින් ඉන්න තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන් වැඩකරනවා වෙනුවට, ජනතාවට අවංකව සේවය කරන ජනතාවට වග වෙන රාජ්‍ය යාන්ත්‍රණයක් අපි පත්කරනවා. ඒ යාන්ත්‍රණය හරහා අලුතින් නිර්මාණය කරන අලුත් බලාපොරොත්තු එක්ක සාමූහික ප්‍රතිපත්තිවලට අනුව වැඩකරන නිලධාරීන් සමග දේශපාලන නායකත්වය ඒකාබද්ධ කොට මේ රට ක්‍රමානුකූලව ගොඩනැගීමේ පුනරුද යුගය අපි ආරම්භ කරනවා.
අලුත් ආර්ථික ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ජනතාව කේන්ද්‍රීය කරගත්, ජන සහභාගිත්වය ලබා ගන්න, නිෂ්පාදනය වැඩිකරන ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන දත්ත, ප්‍රතිපත්ති, විද්‍යාත්මක පර්යේෂණ, කරන්න පටන් ගන්න ඕනෑ. ඒ අවශ්‍යතාවය මූලික කරගෙන ලංකාවේ පළමුවැනි වතාවට විද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා රටේ සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ මොනවාද යන්න සාකච්ඡා කරන්න අපේ පර්යේෂණ ප්‍රතිපත්ති අපි එළිදැක්වූවා. එවැනි ආර්ථිකයක අපි සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගෙන ශක්තිමත් ආර්ථියක් අපි ගොඩනඟනවා. මේ රටේ 52%ක් වන ගැහැනුන්ට, තමන්ගේ සුරැකුම් වැඩවලට වටිනාකමක් දෙන, සමාජ වගකීමක් අරගෙන තමන්ගේ රැකියාවන් නිදහසේ කරන්න හැකිවෙන රාජ්‍ය මැදිහත්වීම් තුළින් ඒ සුරැකුම් වැඩවල බර අඩුකරමින් ඒ හදන ව්‍යුහය තුළ, කාන්තාවන්ට මේ ආර්ථිකයේ සමාන කොටස්කරුවන් විය හැකි ආර්ථිකයක් අපි ගොඩනඟනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සාධාරණය භුක්ති විඳීමට හැකි ක්‍රමවේදයක් අපි සකස් කරනවා. ඒ සියල්ල කරන්න අපේ මානව සම්පත රැකගන්න ඕනෑ. මහජන සේවාවන් තුළින් ජනතාවට සේවයක් වන, ජනතාවට විශ්වාසයක් ඇතිවෙන ආකාරයෙන් මහජන සේවාවන් ලැබෙන ආකාරයේ පරිවර්තනයක් අපි සකස් කර ගත යුතුයි.
අධ්‍යාපනය ලබන දරුවෙකු පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුණක් සහිතව රැක ගනිමින්, සමාජ වගකීම ලැබෙන, සමාජයෙන් තමාට ලැබෙන වගකීම ගැන ආකල්ප වර්ධනයක් ඇති කරන, ආර්ථිකයට සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා ලබා ලබාදෙන, සමාජ සංවර්ධනයට සහභාගි විය හැකි තත්වයක් ගොඩනගනවා. සමාජයට නායකත්වය දෙන්න පුළුවන් වන පුරවැසියෙක් බිහිකරන අධ්‍යාපනයක් අපි ක්‍රමානුකූලව ලබා දෙනවා. නිරෝගී පුරවැසියෙක් බිහිකරන, ආරක්ෂා කරන සෞඛ්‍ය සේවයක් අපි ගොඩනගනවා. මහජනතාවගේ අවශ්‍යතාවයන් අනුව, ජනතාවට සංවේදී වන, මහජන ප්‍රවාහන සේවයක් අපි හදනවා.
අපේ ගැහැනුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගත යුතුයි. කිසිවෙකු කුසගින්නේ ඉන්න ඉඩ නොතබන අතර, පෝෂණයෙන් සම්පූර්ණ වූ, ආහාරවල ගුණාත්මකභාවය ගැන සැකයෙන් ජීවත් වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපට ශක්තිමත් සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි. සමාජයේ සියලුම කොටස් ආබාධිත සහිත වූවන්, විශේෂිත උදව් අවශ්‍ය වන ගැහැනුන්, දරුවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනා ආරක්ෂා වෙන ආයතන පද්ධතියක් අපට අවශ්‍යයි. කිසිවෙක් අසරණ විය යුතු නැහැ. සියලු දෙනා වෙනුවෙන් වගකියන, සියලු දෙනා රැකගන්නා, සමාජ ආරක්ෂණයක් අපි ගොඩනඟනවා. ඒ වගේම මේ රටට නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. කිසිවෙකුට හෝ වෙනස්කොට නොසලකන, නීතියේ ආධිපත්‍යය, යුක්තිය, සාධාරණත්වය තහවුරු කරන නීති පද්ධතියක්, අධිකරණ ක්‍රියාවලියක් අපි හදනවා. මේ සියල්ල කර ගැනීම සඳහා අපට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල්ම අර්ථය දෙන ආකාරයෙන් සකස් කරනවා. ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන්නේ මැතිවරණයකදී කතිරයක් ගහන එක්කෙනෙකුට එහා යන තමන්ට පාලනයට ඍජුව සම්බන්ධ විය හැකි, තමාගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවිය හැකි, තමාගේ මූලික අයිතිවාසිකම් තහවුරු වෙන, ආරක්ෂා වෙන අලුත් ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා.
අපි දශක ගණනාවක් ලේ වැගිරූ රටක්. ඒවාට මූලයක් වූ ජාතික අසමගිය වෙනුවට ජාතික සමගිය අපි ඇති කරනවා. කිසිදු පුරවැසියෙකුට වෙනස් කොට නොසලකන, දෙවන ගණයේ පුරවැසියෙක් ලෙස හැඟෙන්නේ නැති සියලු දෙනාටම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිතව තමන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්, භාෂාව, ආගම අභිමානයෙන් රැක ගත හැකි සමාජයක් අපි ගොඩනඟනවා. සියලු දෙනාම පිළිගන්න, සමාජය තුළ තිබෙන විවිධත්වය ඇගයිය හැකි ජාතික සමගියක් සහිත රටක් අපි ගොඩනඟනවා.
අපි බලාපොරොත්තුවෙන පුනරුදය, ගැඹුරු සමාජ පරිවර්තනය කියන්නේ ජනතාවගේ යුගය ආරම්භ වන කාලයයි. අපි වසර 2500ක ඉතිහාසයක් ගැනත් වසර 75ක ඉතිහාසයත් ගැන කතා කළා. අපිට කියවන්න, අහන්න ලැබෙන්නේ පාලකයන්ගේ පැත්තෙන් ලියැවුණු ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ වීරයන් වීරවරියන් බවට පත්කරලා තිබෙන්නේ පාලකයන්, නැතිනම් ප්‍රභූ පැළැන්තියේ අය. රජවරුන්ගේ, සිටුවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ කතා අහන්න ලැබෙනවා. අගමැතිවරු, ඇමතිවරු ගැන දන්නවා. මේ රටේ ඇත්තම වීරවරුන් වීරවරියන් වන්නේ මේ රටේ ජනතාවයි. සියලු අර්බුද දරාගනිමින්, ඒවාට මුහුණ දෙමින්, රට වැටෙන්න නොදී අල්ලාගෙන ගියේ මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන්. නමුත් පුරවැසියන්ගේ ඉතිහාසය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පුනරුද යුගය තුළ අපි ලියන්නේ පුරවැසියන්ගේ ඉතිහාසය. ඒ ලිවීමේ අයිතිය පුරවැසියන් ලබා ගන්නවා. 2024න් පසුව අපි ආරම්භ කරන්නෙත් පුරවැසියන් බාර ගන්න, පුරවැසියන් ලියන, පුරවැසියන් නිර්මාණය කරන ඉතිහාසයක්. ඒක තමයි පුනරුද යුගය තුළ සිදුවෙන විශේෂිතම දෙය. ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු පුරවැසි යුගයක් අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තමයි, ඒකෙ කොටස්කරුවන් වන ඔබ සියලු දෙනා මෙතනට එකතු වී සිටින්නේ. ඒ පුනරුද යුගය ළඟාකර ගැනීම සිහිනයක්, බලාපොරොත්තුවක් පමණක් නොවෙයි, එය යථාර්ථයක්, අත්දැකීමක්, අපේ ජීවිතය බවට පත්කර ගනිමු.