Home Politics රමාල් ගේම් කාරයෙක්ද?

රමාල් ගේම් කාරයෙක්ද?

by Maduka

රමාල් සිරිවර්ධන  අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.

සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.

1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.

තව ද ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද ලබා දී තිබිණි.

මීට පෙර සභාපති ධූරයෙන් ඉවත් වීම

2019 වසරේදී රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සැක සහිත රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබිණි.

එම චෝදනාවලින් පසුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

එහෙත්, එම අවස්ථාවේ ද ඔහු මාධ්‍යයට පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය

වට්ස්ඇප් කෙටි පණිවිඩ ඔස්සේ දුන් පිළිතුරු

මෙවර සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව විමසීමට දුරකතනය ඔස්සේ ඔහු ඇමැතීමට ගත් උත්සහය සාර්ථක වූයේ නැත.

එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට පිළිතුරු ලැබිණි.

“අතිශය පෞද්ගලික කරූණක් නිසා ඉල්ලා අස්වූ” බවට අප යොමු කළ කෙටි පණිවිඩයට පිළිතුරු ලෙස ලබා දී තිබිණි.

බිමල් රත්නායක ඇමැතිවරයා සමග මත ගැටුමක් සිදුවූ බවට පැතිර යන රාවය සත්‍යයක් දැයි අපි ඔහුගෙන් විමසීමු.

“කිසිදු මත ගැටුමක් ඇති නොවිණි,” යැයි වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවිඩයකින් පිළිතුරු දුන්නේ ය.

“මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත් ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදි ම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි,” කෙටි පණිවිඩයකින් පිළිතුරු ලබා දෙනු ලැබුවේ නැවත රජයේ වෙනත් තනතුරක් ලබා දුනහොත් බාර ගන්නේ දැයි බීබීසි සිංහල යොමු කළ පැනයට ය.

අලුත් සභාපති කවුද?

රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංගම සභාපති ධූරයට පත්වන නව සභාපති කවුදැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

එහදී ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.

BBC

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd