Home Politics අනුර කියන්නේ අපේ සාමුහික සිහිනය

අනුර කියන්නේ අපේ සාමුහික සිහිනය

by Maduka

දකුණු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ අනුරාව නැංවූ “උබුන්ටු“ යන වචනයේ අර්ථය මෙන් ම, අප සියළු දෙනාගේ සාමුහික සිහිනයේ අනුරාව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති අවධාරණය කරයි.

එම පක්ෂයේ හොරණ පැවති මහජන රැලියක් අමතමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඒ බව අවධාරණය කරමින් කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

නිලන්ති සහෝදරිය ‘උබුන්ටු’ වචනය කියන කොට මගේ දෙසවනට සංගීතය වගෙයි. දකූණු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ ‘උබුන්ටු’ කියන වචනය නොදියුණු ගෝත්‍රික වචනයක් නොවෙයි. මානව සහෝදරත්වය පිළිබඳ උණුසුම් වචනයක්. මේ තමයි අපේ උබුන්ටු. මේ තමයි අපේ සහෝදරත්වය. මේ තමයි අපේ අනෙකා පිළිබඳ කැපවීම, කැක්කුම.
අද මම මෙතන කතා කරන්නේ ඉතාම ආත්මාර්ථකාමී ආශාවකින්. මම වැඩිහිටි වියේ පසුවෙන්නෙක්. මට වුණු හිරිහැරයකින් නිදහස් වෙන්න මට ආසයි. ඒක මගේ ආත්මාර්ථකාමී ආසාවක්. රූපවාහිනිය බලනකොට, පත්තරයක් කියවනකොට මගේ වැඩිහිටි ජීවිතය පුරාම ඇස් දෙකට හිරිහැරයක් වුණු කරදරයකින් නිදහස් වෙන්න මට ආසයි. ප්‍රවෘත්ති අහනකොට කණට හිරිහැරයක් වුණු කන් කරච්චලයකින් නිදහස් වෙන්න මට ආසයි. මගේ දෙසවන් වේදනාවට පත්කරන කරදරය කුමක්ද? මේ රටේ පාර්ලිමේන්තුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉඳගෙන මේ රට පාලනය කරන මිනිස්සුන්ගේ මුහුණු කටහඬවල් පුදුමාකාර හිංසනයක්. ඔක්තෝබර් මාසෙ, ඒ හිංසනයෙන් මිදෙන්න මට අවශ්‍යයි. මේක ආත්මාර්ථකාමී ආශාවක්. ඔබ හැමදෙනා තුළ එවැනි ආත්මාර්ථකාමී ආශාවක් නැද්ද? ඒ තමයි අපේ උබුන්ටු. ඒ තමයි සහෝදරත්වය. ඒ තමයි රට වෙනුවෙන් කැක්කුම. ඒ තමයි අනෙකා පිළිබඳ කැක්කුම. ඒක සාමූහික ආශාවක්. සාමූහික ප්‍රාර්ථනයක්. සාමූහික සිහිනයක්. අනුර කියන්නේ අපේ සාමූහික සිහිනයේ අනුරුව. අපේ සාමූහික ආශාවේ අනුරාගය. අපේ ප්‍රාර්ථනාවේ අනු කෘතිය.

ලංකවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙලාවේ ඉන්න ඉතාම පරිපූර්ණ, දැක්මක් ඇති දේශපාලනඥයා ඔහුයි. ඔහු අපේ නායකයා. ඔහු අපේ හදවත. ඉදිරි මාස කිහිපය තුළදී ඒ අනුරුව හඹා යමු. අලුත් ලංකාවක් පිළිබඳව සිහින දකින ආශාවට හැකියාව, දැනුම එක්කරමු. අපේ සිහිනයට ප්‍රඥාව එකතු කිරීමේ, සබුද්ධිකත්වය එකතු කිරීමේ ආශාව තමයි ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයත්, අනුර සහෝදරයාගේ සාර්ථකත්වයත්. මේ රටේ කීර්තිමත් අනාගතය දෙස බලා ඉඳිමු. ඒ අනාගතය වර්තමානය බවට පත්වෙන දිනය ආසන්නයි. ජාතික ජන බලවේගයේ එක ශක්තියක් තමයි ප්‍රඥාවේ මූලාශ්‍ර තිබෙන්නේ කොහේද, ඒ ඕනෑම තැනකින් උකහා ගැනීමේ විවෘතභාවය, සුඛ නම්‍යතාවය අපට තිබෙනවා. ඒක එක ශක්තියක්. ලංකාවට පුනරුදයක් අවශ්‍යයි. ලංකාව පුනරුදය කරා ගෙනයාමේ හැකියාවත් නායකත්වයත් දීමේ හැකියාවත් අපට තිබෙනවා.

පුනරුදයකරා යාමට මනුෂ්‍යත්වයට එරෙහි පාපයන් 11 පරාජය කිරීම අවශ්‍යයි. යුක්තිය මත පදනම් වූ ප්‍රතිපත්තිමය මූලධර්මයන් නැති දේශපාලනය අපි පරාජය කළ යුතුයි. ඒ ප්‍රතිපත්තිමය පදනමක් නැති දේශපාලනය පාපයක්. ඒ පාපය අපි ගාව නැහැ. දෙවැනි පාපය විනෝදය. අපේ රටේ දේශපාලකයෝ, ජනාධිපති පුත්තු කොවිඩ් 19 ඇතුලේ, සාගතය ඇතුලෙ මුහුදු ක්‍රීඩාවලට ගිහින් හිටියා. ඒ විනෝදය පාපයක්. දේශපාලකයන්ගේ රාත්‍රී ජීවිතය බැලුවොත් හෘදය සාක්ෂියක් නැති විනෝද ජීවිතයක්. වැඩ කිරීමෙන් තොර ධනය පාපයක්. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයට හේතුවක් තමයි, මේ රටේ දේශපාලන පංතියේ චෞර වළල්ල ගැන අනුර සහෝදරයා විසින් හෙළිදරව් කිරීම. ඒ පාපය පරාජය කිරීමේ ශක්තිය හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. චරිතයෙන් තොර දැනුම, හතරවැනි පාපය. ජනතාව සමග සාමූහික විමුක්තිය පැත්තේ හිටගන්න චරිත ශක්තිය නැත්නම් ඒක දැනුමක් නොවෙයි. ඒක චරිතයෙන් තොර දැනුම. පස්වැනි පාපය ආචාරධර්මවලින් තොර ව්‍යාපාර. අපේ සාමාන්‍ය මනුස්සයා කුසගින්නේ මැරෙද්දී, ලෙඩරෝගවලින් මැරෙද්දී, ඔවුන් වෙනුවෙන් ගේන ඇන්ටිජන්වලින් හොරාකන ව්‍යාපාරිකයා ආචාරධර්ම නැති, හොඳ නරක පිළිබඳ තර්කනයක් නැති ව්‍යාපාරිකයෙක්. හයවැනි පාපය මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව. මේ විද්‍යාවෙන් ඵලයක් තිබෙනවාද, ඒක මනුෂ්‍යත්වයට, පොදු සහෝදරත්වයට සේවය කරන්නේ නැතිනම්. ඒක තමයි අද විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදක්වන වෙලාවෙදි විද්‍යාඥයන් ඇහුවේ. කරුණාවෙන් තොර ආගම හත්වැනි පාපය. බෞද්ධ ආගම හෝ වෙන ආගමක් හෝ විය හැකියි. වගකීමෙන් තොර අයිතිවාසිකම් පාපයක්. අපේ වගකීම් පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව අයිතිවාසිකම් විතරක් හඹා යනවා නම් ඒක පාපයක්. ජාතික ජන බලවේගයේ පුනරුද යුගය කරා යාමට එකතු කරන්නේ ඒ පාපයන්ට දායක නොවෙන මිනිස්සු. ඊළඟ පාපය වගවීමෙන් තොර බලය. මේ රටේ සියලුම බලය ආර්ථික, මූල්‍යමය, සන්නද්ධ, සංස්කෘතික බලය බාරදෙන කොට ඒක වගවීමක්. ඔක්තෝබර් මාසයේ තමන් අතට එන මේ අසීමිත බලය වගවීමෙන් පාවිච්චි කරන්නේ අනුර කුමාර සහෝදර ජනාධිපතිවරයා. කල්පැවැත්මෙන් තොර සංවර්ධනයත් පාපයක්. අපේ පරිසර පද්ධතිය, සතා සීපාවා, අපේ ගහ කොළ, අපේ මනුෂ්‍යයෝ විනාශ කරන සංවර්ධනයක් නොවෙයි අපේ පුනරුදයේ සංවර්ධනය. ඊළඟ පාපය යුක්තියෙන් තොර නීතිය. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ පොඩි සිදුරක් සොයන්නේ කුමකටද? රිංගන්න නීතිමය හිස්තැනක්, ගැලවිල්ලක්, මිසක් යුක්තිය නොවෙයි සොයන්නේ. අපේ රැස්වීම්වලට එකතුවෙලා ඉන්න මහජනතාව යුක්තියේ පැත්තේ හිටගෙන ඉන්නකොට, නීතියේ කොපමණ හිල් තිබුණත් අපි ඒවා පරාජය කරනවා.

මේ මා ඉදිරිපත් කළ පාපයන් එකොළහ පරාජය කළ සුඛිත මුදිත සමාජයක්, සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකළ හැකි දේශපාලන බලවේගයක් තිබේ නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. ඊට නායකත්වය දිය හැකි අපේ සිහිනයේ අනු රාවය වන්නේ අනුර කුමාර දිසානායක. මේ ඉදිරියට එන සති කිහිපයේ මේ පෙරළිය කරා යන ගමන අපි එකාවන්ව යමු. තව තවත් එකතු කර ගනිමු. අපි හැමෝගෙම මුහුණුවල සතුටු කඳුළු දිදුලන දවස කරා යමු.

You may also like

Leave a Comment

About Us

Newsletter

Subscribe my Newsletter for new blog posts, tips & new photos. Let's stay updated!

Laest News

@2021 – All Right Reserved. Designed and Developed by Parislanka (pvt)ltd