වලපනේ, මහ ඌව, මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා.
මෙම අනතුරෙන් මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් කර මාර්ගය ගමනාගමන කටයුතු සඳහා සූදානම් කර තිබෙනවා.
Maduka
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා තිබෙනවා.
දිවයින පුරා දන්සැල් 8,894ක් ලියාපදිංචි කර තිබූ බවත් ඉන් දන්සැල් 8ක් සෞඛ්යාරක්ෂිත නොවන බැවින් වසා දැමීමට පියවර ගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම සෞඛ්‍ය අඩුපාඩු සහිත දන්සැල් 17ක් සඳහාද උපදෙස් නිකුත් කර තිබෙනවා.
ලොව ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මේ වනවිට නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරනු ලබන්වා.
‘ටීචර් අම්මා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3ක් මේ වනවිට යොදවා තිබෙනවා.
මැය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබනවා. ඇය පසුගියදා තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කර ඇති අතර අනතුරුව ඇය දුරකතනය ක්‍රියා විරහිත කර දියණිය සමග ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව පොලිසිය පවසනවා.
එම තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් ඇය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු එම තරුණයාට පහරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ඇගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (13) දිනයේදී දුම්රිය 23 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
රියදුරන් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
ඒ නුව ප්‍රධාන, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් හෙට (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.
මෙය ඔහුගේ දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය වීම විශේෂත්වයක්.
සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින සංචාරයක් සඳහා එක්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු ලෙස නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වනවා.
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන්නේ 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බවයි.
මැයි 01 සිට මැයි 07 දක්වා සතිය සලකා බැලීමේදී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.
2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වන අතර 2025 මැයි මස මුල් සතියේ සංචාරකයින් 33,910ක් දිවයිනට පැමිණ තිබෙනවා.
2
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන ඉන්ධන කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මේ දක්වා පාර්ලිමේන්තු මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරනු ලැබූ අතර මෙම නව චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් පමණි.
එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය හ සමාන වන අතර මීට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර තිබෙනවා.
සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන්.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පරිභෝජනනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණයක් ගනු ලැබුවා.
ඒ අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්රදානය කෙරෙන බවයි.
දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද ඒ අනුව අහෝසි කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය ද මේ අනුව අහෝසි කිරීමට නියමිතයි.
මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 ක්, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතයි.
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා.
තලේබාන් රජය විසින් මෙම තහනම පනවා ඇති අතර මීට පෙර තලේබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා.
කෙසේනමුත් මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවත් මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත්ය.