අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී පසුගියදා ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (13) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකරනු ලැබුවා.
ඔහුගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබූ අතර පෙරේදා (11) එම මල්ශාලා හිමිකරුට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ද ලබා දී තිබුණා.
මල්ශාලාවේ කේබල් දුරකථනයට ආ එම ඇමතුමෙන් පවසා ඇත්තේ වසන්තගේ දේහය මල් ශාලාවේ දේහය තබා නොගන්නා ලෙසත් කිසිලෙසකින්වත් දේහය මහජන ගෞරවය සඳහා නිරාවරණය නොකරන ලෙසත්ය.
කෙසේනමුත් එම මල්ශාලා හිමිකරුට දෙවැනි වතාවටත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබෙනවා.
එම ඇමතුමෙන් පවසා ඇත්තේ කංජිපානි ඉම්රාන් කළ දැනුම්දීම ක්ලබ් වසන්තගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේද? යන්නයි.
මල්ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන එම ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.