මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සහාය සමගි ජන බලවේගයට ලබාදීමට තීරණය කර තිබෙනවා.
දෙමළ ප්රගතිශීලි සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කළ බවයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබෙනවා.
ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නිලධාරීන් පිරිසක් අද (06) ජාතික මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළා.
මේ අවස්ථාව සඳහා මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහුගේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ද ඔහු තරග නොකිරීමට දැනටමත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.
පුරප්පාඩු වූ කාරක සභා ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතන ප්‍රධානියා සහතික කිරීමෙන් අනතුරුව අද දිනය අවසන් වීමට පෙර තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කළ යුතු බවයි.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදමන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.
මහින්ද රාජපක්ෂට අප්පච්චි කියමින් සිටි රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් අප්පච්චි වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) මාළිගාවත්තේ පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සමුළුවක් අමතමිනි.
මේ වනවිට රටේ පවතින ලැජ්ජා සහගත දේශපාලනය අවසන් කළ යුතු බවයි අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.
“පොහොට්ටුව තුනට බෙදිලා. පොහොට්ටුවේ ජාතික මෙහෙයුම් නායක රෝහිත අබේගුණවර්ධන අද ප්‍රසිද්ධියට පත්කරලා තිබෙනවා ඔහු යනවා කියලා රනිල්ගෙ සහායට. ප්‍රසන්න රණතුංග කෑමොර දීලා කියනවා ඔහු යනවා රනිල්ගෙ සහායට. මහින්ද රාජපක්ෂට අප්පච්චි කියමින් හිටපු රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් අප්පච්චි වෙනවා. දැන් අප්පච්චිලා දෙන්නයි. ලැජ්ජා නැද්ද මේ දේශපාලනය?
මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානකල් නින්ද යන්නෙ නෑ කියලා. හැබැයි දැන් මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. බන්දුල ගුණවර්ධන පහුගිය ඡන්ද කාලෙ පත්තරේ දැන්වීමක් දැම්මා මහ දවල් මහ බැංකුවේ මහා වංචාව හෙළිදරව් කරපු ප්‍රාඥයා අංක 16න් කොළඹට කියලා. දැන් ඒ බන්දුල රනිල් ගාව. දැන් මහ බැංකු හොරාත් එතන, හෙළිදරව් කරපු කෙනාත් එතන. මේ කැත පන්නයේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි.”
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඇයට හා පවතින රටයට එරෙහිව එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ ඇයට මෙලෙට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේනමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය මේ වනවිට බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි.
මේ වනවිට ඇයගේ අගමැති නිල නිවසට විරෝධතාකරුවන් කඩා වැදී තිබෙනවා.
බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන අයුරින් සිදු කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇතැයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
අස්වැසුම දෙවන අදියරට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ සමීක්ෂණ කටයුතු නතර කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට යවන ලද චක්‍රලේඛනයේ සඳහන් කර ඇත්තේ මැතිවරණ කාල සීමාව තුළදී රජයේ ඉඩම් බෙදාදීම, රජයේ ඉඩම් හිමිකම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්රදානය කිරීම්, වැවිලි කර්මාන්තය සඳහා හෝ වගා කටයුතු සඳහා සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මුදල් හා විවිධ සහනාධාර, පොහොර, කෘෂි උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, ස්වයං රැකියා සඳහා උපකරණ, පාපැදි, සූර්ය බල විදුලි පහන්, ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම, වන්දි මුදල් ප්රදානය වැනි වැඩසටහන් අත්හිටුවිය යුතු බවය.
ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් සතියේ ලිපියක් යොමු කරමින් කියා සිටියේ උරුමය ඔප්පු බෙදාදීම, අස්වැසුම සංගණන ආදී කටයුතු මැතිවරණ සමයේදීද සිදුකළ යුතු බවය.