ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙනවා.
ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ‘කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු’ යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බවයි.
sinhala news
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තරගය තාක්ෂණික දෝශයක් නිසා අතරමග නතර කිරීමට සිදු වීමත් සමඟ තරගාවලිය සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
තරගය පැවති ක්‍රීඩාංගණයට ඩෝන ප්‍රහාර එල්ල විය හැකි යැයි සැක කෙරෙන කලාපයට මීටර් 100ක් දුරින් පිහිටා තිබුනත් අවදානමක් ගැනීමට නොහැකි නිසා තරගය අත්හිටවූ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ.
ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඇය සහ ඇගේ සැමියා විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්.
මෙම ගුරුවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහි ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර ඇත්තේ.
අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබෙනවා.
දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් තෝරා පත්කර ගනු ලැබුවා.
69 වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වීම විශේෂත්වයක්. ඒ අනුව උන් වහන්සේ 14 වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර තිබෙනවා.
ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් මැයි මස 19 වැනිදා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
‘පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසිනුයි ඔහුට මෙම කැඳවීම සිදුකර ඇත්තේ.
දේශබන්දු තෙන්නකෝන් මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 සිට 2024 දක්වා කාලය තුළ විදේශ සංචාර 23 ක් සඳහා රුපියල් බිලියන 1.27 ක මුළු වියදමක් දරා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 2022 දී විදේශ සංචාර 4 ක්, 2023 දී 14 ක් සහ 2024 දී තවත් විදේශ සංචාර 5 ක් සිදු කර ඇති බවයි.
එමෙන්ම 2022 දී විදේශ සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 63 දෙනෙක්, 2023 දී මුළු රාජ්‍ය නිලධාරීන් 252 ක් සහ 2024 දී සංචාර සඳහා රාජ්‍ය නිලධාරීන් 111 ක් සහභාගී වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේනමුත් ඉන් විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.8ක් වැය වී ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් නියෝජනය කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අනාවරණය කළේය.
මැයි මස 12, 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව මැයි 11 වැනිදා රාත්‍රීයේ සිට මැයි 15 දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා සියලුම මත්පැන් අලෙවි සැල් අනිවාර්යෙන්ම වසා තැබිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා අවධාරණය කර ඇත්තේ.
ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
කෙසේනමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවයි.
එමෙන්ම කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසේත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.